Monday, July 13, 2015

ලිපියක්..

වෙනදට වඩා පරක්කුයි. නිවාඩුවට පස්සේ ඉස්කෝලේ යන පලවෙනි දවසෙම පරක්කු වෙලා. මට කවදාවත් මෙහෙම වෙලා නැහැ. දැන් මොනවා කරන්නද ඉතින්.. හති දම දමා දුවන්න තමයි වෙන්නේ. මම පඩිපෙළ ඉක්මනට බැහැගෙන ආවා. " දුව ඊයෙ ඔයාට ලියුමක් ආවා. මට දෙන්න අමතක වුනා. මෙසේ උඩ ඇති කෑම එක ලග. " මම කෑම පෙට්ටියයි ලියුමයි දෙකම ඉස්කෝලේ බෑග්  එකට දාගෙන ඉක්මනට ගෙදරින් එලියට බැස්සේ ඉස්කෝලෙට දුවන්න. එත් වැඩක් වුනේ නැහැ. මම පරක්කු පෝලිමේ ඉදල තමයි පන්තියට ගියේ. මම පන්තියට ගිහින් වෙනදා තැනම ඉද ගත්තා. සර් එන්න පරක්කුයි වගේ. මගේ හොද වෙලාව නැත්තන් පරක්කු වුනාට හේතු අහයි. අහ්හ්.. මට අද උදේ ලියුමක් ආවා නේද. සර් නැති එකේ මම නිකමට වගේ ලියුම කියවන්න ගත්තා. ඒක මහා අමුතු ලියුමක්. අද දිනේ එකේ උඩින්ම දාලා තිබුනා.

2013/03/02
දයාබර නිශිනි වෙත,
 මම හිතනවා අද ඔයා වෙනද වගේ නෙමේ නැගිටින්න පරක්කු වුනා නේද ? හොද වෙලාවට සර් එන්න පරක්කු වුන නිසා ඔයාට හේතු කියන්න වුනේ නැහැ. තව ටික වෙලාවකින් ඔයාගේ පන්තියට අලුතින් පිරිමි ළමයෙක් එයි. එයාගේ නම ආලෝක. එයා ඇවිත් ඔයාට එහා පැත්තේ තියෙන හිස් පුටුවෙන් ඉදාගනී.
 හැබැයි එකක් මතක තියා ගන්න. එයාට අද එළියෙ ඇවිදින්න යන්න අඩ ගහන්න එපා. ඔයා එහෙම කලොත් ගොඩාක් නරක දෙයක් තව ටික දවසකින් සිද්ද වෙයි.......

මට කියවන්න ලැබුනේ එච්චරයි. පුදුමයි.! අද මම පරක්කු වෙලා පන්තියට යනවා කියලා ඊයේ අපේ ගෙදරට ආපු ලියුමේ තියෙන්නේ කොහොමද ? මට හොදටම බය හිතුනා වගේම පිස්සුවෙන් වගේ වට පිට බලලා ඉක්මනට ලියුම මගේ බැග් එක ඇතුලට දා ගත්තා. සර් පන්තියට ආවේ ඒ වෙලාවෙම වගේ. එයා එලිය බලලා කාටද ඇතුලට එන්න කිවුවා. අහ්හ්.. පිරිමි ළමයෙක් ! " මේ අපේ පන්තියට අලුතින් ආපු ළමයා. එයා අලුතින් මේ පැත්තේ පදිංචියට ආපු නිසා එයා හිටිය ඉස්කෝලෙන් අස් වෙලා මේ ඉස්කෝලෙට මාරු වීමක් ගන්න වුනා. මම හිතනවා ඔයාල ඒ ළමයව ඔයාලගේ යාලුවෙක් කර ගනී කියලා. එයාගේ නම ආලෝක වීරසුරිය."

මොකක් ! ආලෝක !! ලියුමේ තිබුණ නමමයි. මගේ හුස්මත් දැන් නම් හිර වෙනවා වගේ.. ලියුමේ තිබුණා වගේම එයා ඉද ගත්තේ මගේ එහා පැත්තේ පුටුවෙන්. මම බලා ගත් වගම ඒ ළමයා දිහා බලාගෙන හිටියා. තමාෂා පිටිපස්සේ ඉදන් මගේ ඇගට ඇනල ඇහුවා කොහෙද බලන් ඉන්නේ කියලා. තමාෂට පින් සිද්ද වෙන්න එකෙන් මම පියවි තත්වෙට ආවා. මට හිතා ගන්න බැරි වුණා ලියුමේ තියෙන දේවල් ඒ විදියටම වෙන්නේ කොහොමද කියලා. මේක නම් ඇත්ත වෙන්නත් බැහැ කියලා. ඒත් ඒ ලියුම තාම මගේ බෑග් එකේ තියෙනවා. මට උදේ වරුවේ කිසිම වැඩක් හරියට කරගන්න බැරි වුණා. මේ පටලැවිල්ල නිසා.

විවේක වෙලේ කෑම කන කොට ප්‍රබෝදට හොද අදහසක් ඇවිත් තිබුණා. ඒ තමයි අලුත් ළමයා අපි ඉන්න තැන ඉද ගත්ත නිසා එයාවත් අපේ සංගමේට ගන්න. ආලෝක ඒ වෙලේ එලියට හිගින් හිටියේ. අපි එයා එනකන් ඉදලා එයා එක්ක කතා කළා. අපි කතා කර කර ඉන්නකොට මයුමි එක පාරටම ඇහුවා අපි අද ඇවිදින්න යමුද කියලා.

අහ්හ්.. ඇවිදින්න යමු ! මට හීන් දාඩිය දැම්මා. ලියුමේ තිබුනේ අඩ ගහන්න එපා කියලා. මන් දන් නැහැ ලියුම ඇත්තද නැද්ද කියලා. එත් එකේ තියෙන දේවල් වෙන්නේ කොහොමද ? මට මුකුත් හිතා ගන්න බැරි වුනා. මම දැන් මොකද කරන්නේ? බැරි වෙලාවත් ලියුමේ තියෙන දේ ඇත්ත වුනොත් මහා ලොකු කරදරයක් සිද්ද වෙනවා. මගේ ඔලුව රිදෙන්න ගත්තා. මම දැන් මොකක්ද කරන්නේ....?
"නිෂිනි.. නිෂිනී.."
"අහ්හ්.."
"මොන ලෝකෙද ඉන්නේ?"
"මට යන්න බැහැ"
"කොහෙද ?"
"අද හවසට ඇවිදින්න යන්න මට බැහෑ.."
"ඉතින් මොකද ඕකට ඔච්චර බෙරිහන් දෙන්නේ ?"
"අපි වෙන දවසක යමු "
"හා හා වෙන දවසක යමු. මොන යකෙක් වැහිලද මන්ද අද උදේ ඉදලා මෙයාට"
"අන්න සර් එනවා ඉදගමු"
මම ආලෝක දිහා බැලුවා. එයා මන් දිහා බලාගෙන හිතාවෙනවා. මන් ඇහුවා මොකද හිනාවෙන්නේ කියලා. එතකොට එයා මුකුත් කියන් නැතුව අයෙත් හිනා වුනා.

මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු ගමන් කෙලින්ම දිවුවේ කාමරේට. මන් බෑග් එකේ තිබුණ ලියුම අරන් කියවන්න පටන් ගත්තා.

.........ඔයාට හිතා ගන්න බැරිව ඇති මේ මොකක්ද වුනේ කියලා. මම විස්තරේ කියන්නම්. හැබැයි ඔයා පිළිගන්න එකක් නැහැ. ඔයාට මේ ලියුම ලියන මගේ නම නිශිනි ගජසිංහ. වෙනසක් නැහැ මම ඔයාම තමයි. හැබැයි මම ඔයාගේ අනාගතේ. මම මේ ලියුම ලියුවේ ආලෝකව බේරගන්න. හැමෝම හිතනවා වගේ ආලෝක කියන්නේ ඔයාලා වගේ සාමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි. එයා හැමෝම හිතන් ඉන්නවා වගේ පදිංචිය වෙනස් කරපු නිසා ඔයාලගේ ඉස්කෝලෙට ආපු කෙනෙක් නෙමෙයි. එයාගේ අම්මගේ අසනිපෙට බෙහෙත් ගන්න ඕනෙ නිසා එයාල ඒ ඉස්පිරිතාලේ ළග තියෙන ගෙදරකට පදිංචියට ආවා. ඒ නිසයි එයා පදිංචිය වෙනස් කලේ. එයාට දැන් ඉන්නේ එයාගේ අම්මා විතරයි. එයාගේ අම්මගේ ඇස් ඉස්සරහම එයාගේ  තාත්තා වහනෙකට යට වෙලා තියෙනවා. ඒ කම්පනය නිසා අම්මා මානසික ලෙඩකින් ඉන්නේ. එයා ආලෝක තත්පරයක් හරි ගෙදර එන්න පරක්කු වුනොත් බය වෙනවා. ආලෝක නැති වෙලා කියලා. එක පාරක් එහෙම ආලෝක ගෙදර යන්න පරක්කු වෙලා ආලෝකගේ අම්මා දිවි නසා ගන්න හදල තියෙනවා. අද තමි ආලෝකගේ අම්මගේ උපන්දිනේ. එයා වෙනද වගේම පුහා ගෙදර එනකන් බලන් ඉන්නේ. අපි ආලෝකව ඇවිදින්න එක්කන් ගිය නිසා එදා ආලෝකට ගෙදර යන්න පරක්කු වෙනවා. එයාගේ අම්ම එයා එනකන් බලන් ඉදලා ආලෝක නැති නිසා එයාගේ ලෙඩේ වැඩි වෙලා කම්පනය ඉවසගන්න බැරිව දිවිනසාගන්නවා. ඒ දුකට ආලෝක තමන්ගේ ජිවිතේ නැති කර ගන්නවා ඉක කාලෙකට පස්සේ. මොකද එයා ඉස්කෝලේ එන නැතුව තනියම ගෙදරට වෙලා කල්පනා කර කර ඉදලා බයිසිකලය පැදගෙන යනවා  හැප්පෙනකන්. එකෙන් තමයි එයා නැති වෙන්නේ. අපි ඒ ගැන දැනගන්නකොට ගොඩාක් පරක්කු වැඩි. එකයි මම ඔයාට මේ ලියුම ලියුවේ. එයාව බේරගන්න. ඔයා අනිවාර්යයෙන්ම එක කරන බව දන්නා නිසා. බොහොම ස්තුති!

මගේ ඔලුව කැරකෙනවා වගේ දැනෙන්න ගත්තා. මේ මොකක්ක්ද මේ වෙන්නේ කියලා. නමුත් මන් දැන් නැහැ කාලය හරහා මේ  වගේ දේවල් වෙන්න පුලුවන්ද කියලා. එහෙම දේවල් වුනත් වෙන්නේ සුරංගනා කතාවල. මට කිසි දෙයක් හිතා ගන්න බැරි වුනා. එත් ආලෝකව අද එක්කන් ගියේ නැති එක ගැන මට සතුටක් දැනුනා. එත් මට තවමත් මේ හැම දෙයක්ම මහා ප්‍රහේලිකාවක්. උත්තර නැති ප්‍රශ්නයක්. මට මහන්සි. මම නිදා ගත්තා. හෙට උදේ වෙද්දී මේ හැම දේම විසදෙවී. මට ඊට වඩා දෙයක් හිතාගන්න බැරිවුනා. සුබ රාත්‍රියක් ! 


by VimarshanaS

No comments:

Post a Comment