Tuesday, December 8, 2015

කළුපාට අත්තටු.. ( 1 කොටස )

කැළෑව...

   මේ ලෝකේ සුරංගනාවියෝ කියලා කට්ටියක් ඉන්නවද ? නැද්ද ? මේ හැමදාම මම මගෙන්ම අහන ප්‍රශ්නයක්. ඒත් ඒ ප්‍රශ්නෙට අද වෙනකන් මට කිසිම උත්තරයක් ලැබුණේ නැහැ. මේ හැමදේම පටන් ගත්තේ මීට අවුරුදු හයකට කලින්. එතකොට මට වයස අවුරුදු 14යි. මට සිද්දවුන හැමදේම මේ දැන් වුණා වගේ මතකයි කියල නම් කියන්න බැහැ. ඒත් මීට මාසෙකට කලින් වුණු දෙයක් ගැන කියනවා වගේ විස්තර කරන්න පුළුවන්.

   මගේ නම නෙසුකා. මම මේ කියන්න හදන කැළෑව පටන් ගන්නේ අපේ ගම ඉවර වෙන තැනින්. ගමේ කවුරුවත් මේ කැළෑවට යන්නේ නැහැ. මම හිතන්නේ මම විතරයි මුළු ගමෙන්ම මේ කැළෑවට ගිය එකම කෙනා ඒ වගේම තවමත් මේ කැළෑව ළගට යන එකම කෙනත්. ඒකට මට හේතුවක් තියෙනවා. මීට අවුරුදු හයකට කලින් දවසක් මම මේ කැළේ ඇතුලට ගියා. ඒ මගේ ජිවිතේ නැතිකරගන්න ඕනේ කරපු නිසා. ඒ මම දැන් ඉන්න ගෙදර අය මට කරන කරදර ඉවසගන්න බැරුව. මන් දන්නේ නැහැ මාව මේ ගෙදරට ආවේ කොහොමද කියලා. හැමෝම කියන්නේ මේ ගෙදර හිටපු සීයා මාව කැළෑව ඇතුලේ ඉදල අරගෙන ආව කියලා. ඒත් මම සීයව දැකල නම් නැහැ. මට වයස අවුරුද්දක් වෙද්දී එයා මැරුණා කියල තමයි හැමෝම කියන්නේ. මම කාගේ කවුද කියන්න දන්න කිසිම කෙනෙක් ගමේ නැහැ. මම පොඩි කාලේ ඉදලම හැදුනේ වැඩුනේ මේ ගෙදර. ඒත් මට තේරෙන දවසේ ඉදන් මේ ගෙදර අය මගෙන් වැඩ ගත්තා. මම කවදාවත් ඉස්කෝලෙකට ගිහින් නැහැ. හැමදාම මේ ගෙදර වැඩකාරී වගේ හිටියේ. ඒක එහෙම වෙන්නත් හේතුවක් තිබුණා.

    ඉතින් මට හැමදේම එපා වෙලා තිබුනේ. මම ඊට පස්සේ තමයි කැළෑවට ගියේ මැරෙන්න හිතාගෙන. මට මේ ගමේ මිනිස්සු කියන්නේ යක්ෂණිගේ දුව කියලා. ගමේ කවුරුවත් මගෙත් එක්ක වැඩිය කතා කරන්නෙත් නැහැ. ඒ එයාල මට බය නිසා. මොකද මට තියෙන්නේ රත්තරන් පාට ඇස් දෙකක්. හරි අමුතු පෙනුමක්. ඒ කියන්නේ දිලිසෙන හමක්. ඒක එහෙම වුනේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඉතින් මන් වගේ අමුතු පෙනුමක් තියෙන ළමයෙක් ඒ කියන්නේ අසාමාන්‍ය පෙනුමක් තියෙන ළමයෙක් මුළු ගමකින්ම කොන් කරන එක අහන්න දෙයක් නෙමෙයි. කැළෑවට ගිය වෙලේ මම කැළෑව මැද්දේ තියෙන ලොකු ගල් කුළක් දැකලා දුවගෙන ගිහින් ඒ ගල්කුළ උඩට නැග්ගා. එතනින් පහළට පැනල මැරෙන්නයි මම හිතුවේ. ඒ නිසා මම දහයට ගණන් කරලා හොද හුස්මක් අරන් ගල් කුළෙන් පැන්නා. මට හොදට මතකයි හුලං පාර කපාගෙන මාව බිමට වැටෙනවා.

      මම තත්පර ගානක් එහෙම උඩ ඉදලා බිමට වැටුණා. ඒත් එක පාරටම කවුදෝ කෙනෙක් මාව අල්ල ගත්තා. මම ගැස්සුනා. එයා මුළු මුණම වහගෙන හිටියේ. මම එයාගේ ඇස් දෙක දැක්කා. ඒවා මගේ වගේමයි. රත්තරන් පාටයි. එයා මාව අල්ල ගත්තේ පියඹාගෙන ඇවිත්. හරියට පෙනුම මනුස්සයෙක්ගේ වගෙයි. ඒත් එයාට ලොකු අත්තටු දෙකක් තිබුණා. ලොකුම ලොකු කළුපාට අත්තටු දෙකක්. එයා මාව අරගෙන ඇවිත් කැළෑවට ඇතුල්වෙන තැනින් මාව හෙමීට බිමින් තිබ්බා. මාව බිමින් තියලා එයා යන්න හැරුණා. මට මතකයි මම එයාගේ ඇදුමෙන් අල්ලලා එයාව නවත්තනවා. ඒ කෙනා මගේ දිහා හැරිලා බැලුවා. ආහ්.. මන් එයාට කිවුවා එයාගේ අත්තටු ගැන. මම දැකපු ලස්සනම අත්තටු දෙක කියලා. එයාගේ අත්තටු ගොඩාක් ලස්සනයි කියලා. ඒ කෙනා මගේ දිහා බලාගෙන හිටියා. ගොඩාක් පුදුමෙන් වගේ මන් දිහා බලන් හිටියේ. මට මතකයි එයාගේ ඇස් දෙක ලොකු කරන මන් දිහා බලන් ඉන්නවා. එයා නැමිලා මගේ ඔළුවට අත තිබ්බා. ඔයා මාව දැක්කා කියලා කාටවත් කියන්න එපා. මේක රහසක්. මට මතක එච්චරයි. 

   ඊට පස්සේ මම නැගිටිනකොට හිටියේ මන් දැන් ඉන්න ගෙදර මගේ ඇදේ. මම මේ ගැන කාගෙන්වත් අහන්න ගියේ නැහැ. කවුරුත් මට ඒ ගැන කිසිම දෙයක් කිවුවෙත් නැහැ. එත් හැමදාම මම කැළෑව ළගට ගිහින් බලන් ඉන්නවා. ඒත් අද වෙනකන් කවුරුවත් ආවේ නැහැ මාව බලන්න. මේ කැළෑව යක්ෂයෝ අරක්ගත් තැනක් කියලයි අපේ ගමේ මිනිස්සු කියන්නේ. ඒත් මම මේ හොයන කෙනා යක්ෂයෙක් නම් වෙන්න බැහැ. මම ඒ කෙනාව දැක්කේ නම් නැහැ. ඒත් මට ඒ අත්තටු දෙක හොදට මතකයි.


by VimarshanaS

No comments:

Post a Comment