අහස ඉරිතලා අහසෙන් දුවන්නේ.....පොළොව ඉරිතලා පොළොවෙන් දුවන්නේ.....
මුහුද ඉරිතලා මුහුදෙන් දුවන්නේ.....
අහස පොළොව මුහුදම ඉරි තලන්නේ.....
අහස, පොළොව, මුහුද සිසාරා ගමන් ගන්නා වාහන, අහස් යානා, නාවික යාත්‍රා ගමනාගමනය මතු යම් දවසක පරිසරය දෙදරවන තරමේ ව්‍යසනයක් වන බැව් අතීතයේ ජිවත් වූ ජනකවියාගේ උපකල්පන දැනුමට හසුවූ අයුරු ඉහත ජනකවියෙන් දැක්වේ. අනාගත සිදුවීම් ගැන අතීත ගැමියා තුල තිබූ අවබෝධය මෙවැනි දේ මගින් මානව පිළිබිඹු වේ. නමුත් මේ ලිපිය අතීත ගැමි අවබෝධයන් ගැන නොව ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට වැටීමට තිබූ අභ්‍යවකාශ කසළ කැබැල්ල පිලිබදවයි.
මෙම වසරේ එනම් 2015 වර්ෂයේ ඔක්තෝම්බර් 3 වන දින ඇරිසෝනාවේ පිහිටි කැටලිනා ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ සිටි නිරීක්ෂකයන්ට පෘථිවිය දෙසට ඇදී එන හඳුනා නොගත් ආකාශ වස්තුවක් දර්ශනය වී ඇත. මෙම වස්තුව කුමක්දැයි හරිහැටි හඳුනාගැනීමට නොහැකි බැවින් එය WTF යන කේත නාමය භාවිතා කරමින් WT1190F ලෙස නම් කරන ලදී. මෙම ආකාශ වස්තුව මීට පෙරද 2009 හා 2013 වසරවලදී දුරේක්ෂකවලට හසුවී තිබුණු අතර එහිදී එය 9U01FF6, UDA34A3 හා UW8551D යන නම් වලින් හඳුන්වන ලදී.

ආකාශ වස්තුව පෙර දර්ශනය වන අවස්ථා වලදී පෘථිවිය වටා දුරස්ථ හා ආරක්ෂිත කක්ෂයක ගමන් කරමින් තිබූ බැවින් විද්‍යාඥයන් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු නොතිබුණි. නමුත් මෙය කුමක්දැයි සොයා බැලීම ආරම්භ වූයේ එය තමන් ගමන් කරමින් සිටි ගමන් මාර්ගය වෙනස් කරමින් පෘථිවිය දෙසට ඇදී ඒමට පටන් ගැනීමත් සමඟය. පසුව පෘථිවිය දෙසට ඇදී එන මෙම WT1190F හි දිග පළල පිළිබඳව ගණනය කිරීම් ඇරබිණි. ඒ අනුව මෙය මීටර දෙකක් හෙවත් අඩි හතක් පමණ දිග බව සොයා ගන්නා ලදී.
විද්‍යාඥයන්ගේ නිරීක්ෂණ වලට අනුව මෙය සාමාන්‍ය ග‍්‍රාහකයකට වඩා වෙනස් බව පැහැදිලි විය. එනම් මෙම ග‍්‍රාහකය දීප්තිමත් මතුපිට පෘෂ්ඨයකින් යුක්ත වූ අතර සිලින්ඩරාකාර හැඩයක් ගන්නා ලදී. පසුව WT1190F පිළිබඳව වැඩිදුර කරන ලද දත්ත විග‍්‍රහයකින් පසුව එය ග‍්‍රාහකයක් හෝ ස්වභාවික වස්තුවක් නොවන බවට විද්‍යාඥයන්ට තහවුරු විය. මේ තහවුරුවත් සමඟ WT1190F පිළිබඳ විවිධ මත ගොඩනැගෙන්නට විය. ඉන් සමහරක් උපකල්පන සිදුවීමට ඇති සම්භාවිතාව ඉතාමත් අඩු විය.දැනට විද්‍යාඥයන් විශ්වාස කරන මතය වන්නේ මෙය මිනිසා විසින්ම අභ්‍යවකාශ ගත කරන ලද යම්කිසි අභ්‍යවකාශ යානයක සුන්බුන් කොටසක් යන්නයි. ඒ අනුව මෙය පෘථිවියේ සිට ගුවන්ගත වී අභ්‍යවකාශයට ගොස් නැවත පෘථිවියට පැමිණෙන වස්තුවකි. වසර ගණනක් පෘථිවිය වටා පරිභ‍්‍රමණය වෙමින් තිබී ඇති මෙම සුන්බුන් කොටස ගුරුත්වාකර්ෂණ ක්ෂේත‍්‍ර වෙනස්වීමකින් හෝ වෙනත් හේතුවක් නිසා තමන් ගමන් කළ කක්ෂයෙන් බැහැරව පෘථිවිය වෙතට කඩා වැටීම අරඹා ඇත.

රොකට්ටු අභ්‍යවකාශ ගත වීමේදී විවිධ පියවරයන්හි දී යානය උපරිම වශයෙන් සැහැල්ලූ කර ගැනීම සඳහා රොකට්ටුවේ සවිකර ඇති ප‍්‍රයෝජනවත් නොවන කොටස් ගලවා ඉවත් කරයි. රොකට් බුස්ටර, හිස් ඉන්දන ටැංකි ආදී මෙම කොටස් අභ්‍යවකාශයේදී රොකට්ටුවෙන් මුදා හැරෙන්නේ ආරක්ෂා සහිතව සාගරයට වැටෙන ලෙස ක‍්‍රමලේඛ ගත කිරීමෙන් පසුවයි. නමුත් මින් බොහෝමයක් පෘථිවි වායුගෝලයේදී ගිණිගෙන විනාශ වන අතර සමහරක් කක්ෂගතව පරිභ‍්‍රමණය වෙයි. ඒ අනුව නොවැම්බර් 13 වනදා කඩා වැටෙන ආකාශ වස්තුව 60 දශකයේදී එනම් මීට වසර 40 කට පමණ පෙර නාසා ආයතනය මගින් සිදුකළ ඇපලෝ ව්‍යාපෘතිය හෙවත් චන්ද්‍ර මෙහෙයුමේදී අභ්‍යවකාශ ගත කළ රොකට්ටුවක කොටසක් ලෙස සැලකේ. ඇපලෝ 1 කේ සිට 17 දක්වා මිනිසුන් රහිත හා සහිත චන්ද්‍රකා Little joe 11, Saturn 1, Saturn 1B සහSaturn V යන රොකට්ටු මගින් අභ්‍යවකාශ ගත කරන ලදී.
මෙම ආකාශ වස්තුව කඩා වැටීමේ ඇති වැදගත්කම වන්නේ මෙය නිගමන වලට අනුව අභ්‍යවකාශ යානයක සුන්බුන් කැබැල්ලක් නම්, මිනිසා විසින් නිපදවන ලද වස්තුවක් අභ්‍යවකාශයට ගොස් නැවත පෘථිවියට පැමිණෙන වස්තූන්හි ගමන් මාර්ගය මෙන්ම එය පෘථිවියට ළගාවන කාලය මැන ගැනීමටත් ලැබෙන විරල අවස්ථාවක් වන බවයි. එමෙන්ම අනාගතයේදී විනාශකාරී උල්කාපාතයක් පෘථිවිය මතට පැමිණීමේදී එය පෘථිවියට ඇතුළුවන ආකාරය මෙන්ම එහි ගමන් මාර්ගය පිළිබඳවත් ගතවන කාලය පිළිබඳවත් මැන ගැනීමටත් WT1190F අභ්‍යවකාශ කසළ කැබැල්ල මගින් සපයන දත්ත මහත් උපකාරීවනු ඇති බවයි.
දැනට සිදුකර ඇති ගණනය කිරීම් වලට අනුව නොවැම්බර් මස 13 වන සිකුරාදා ශී‍්‍ර ලංකා වේලාවෙන් පෙ.ව. 11.50 ට පමණ ගාල්ලට කිලෝමීටර 65-100 ඈතින් මුහුඳට තත්පරයට කිලෝමීටර 11 ක වේගයෙන් මෙම ආකාශ වස්තුව කඩා වැටීමට නියමිත බව විද්‍යාඥයන් ප‍්‍රකාශ කරයි. ඉහළ වායු ගෝලයේ සිට පැමිණීමේදී මෙය මුළුමනින්ම හෝ වැඩි කොටසක් ගිණිගෙන විනාශ වී යාමට ඉඩ ඇති බැවින් මුහුඳට කුඩා සුන්බුන් කැබැලි කිහිපයක් කඩා වැටෙන බව අනුමාන කර ඇත.
මෙලෙස අභ්‍යවකාශ කසළ කැබැල්ල කඩා වැටෙන ස්ථානය තහවුරු කර ගත් බැවින් නාසා සහ ඊසා යන අභ්‍යවකාශ ඒජන්සි මගින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඒ අනුව කඩා වැටීම සිදුවන අවස්ථාවේ මුහුදේ ගැවසීම අනතුරුදායක වනු ඇත. WT1190F කඩා වැටීමේදී ගිණි බෝලයක් හෝ ගිණි බෝල රාශියක් ලෙස දකුණු මුහුඳ ප‍්‍රදේශයේ දිස්වනු ඇති බවට විද්‍යාඥයින් උපකල්පනය කරයි. WT1190F හි විශාල කොටසක් මුහුඳට වැටීමට හැකියාවක් නොමැති වුවත් කඩා වැටෙන ආකාශ වස්තුවක ඉතා කුඩා කැබැල්ලක් පවා අතිශය අනතුරුදායක විය හැක. එය කඩා වැටෙන අධික වේගය නිසා කුඩා බොරළු කැටයක ප‍්‍රමාණයකින් යුතු කොටසකට පවා මිනිසෙකු මරණයට පත් කිරීමට හෝ දැඩි දේපළ හානියක් කිරීමට හැකියාව පවතින බව විද්‍යාඥ මතයයි.( COPY )

No comments:
Post a Comment